ප්‍රවීණ සිනමාවේදී අරුණ ජයවර්ධනගේ නවතම සිනමා නිර්මාණය වූ , 1970 ලව් ස්ටෝරි චිත්‍රපටයේ ගීත එළිදැක්වීම පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාශාලා පරිශ්‍රයේදී සිදුවිය. මෙම අවස්ථාවට එම චිත්‍රපටයේ රඟපෑ හේමාල් රණසිංහ, ගම්‍යා විජේදාස, මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, සඳනි ප්‍රනාන්දු, අශාන් ඩයස්, දිනෙත් ද සිල්වා ඇතු`ඵ කලාකරුවන් සහ මාධ්‍යවේදීන් රැසක් සහභාගී විය.
පූජ්‍ය කුට්ටිකුලමේ පේමාලංකාර හිමි, ෂෙහාන් ගලහිටියාව, දුමින්ද අලහේන්ද්‍ර විසින් රචිත ගේය පද රචනා, සූර්යා දයාරුවන්, සමිතා මුදුන්කොටුව, ඉන්දික රුවන් (රූනි) සහ සුරේන්ද්‍ර පෙරේරා විසින් ගායනා කර ඇති අතර , ගී තනු නිර්මාණයෙන් චින්තක ජයකොඩි, තිළිණ රුහුණගේ සහ මංගල ගලප්පත්ති එක්වී ඇත.
70 දශකයේ මැද භාගයේ කන්ද උඩරට තේ වතු ආශ්රිත වතු බංගලාවක සිදුවුන සිදුවීම් පෙලක් වටා ගෙතී ඇති සුන්දර ආදර කතාවක් මෙයට පාදකව ඇත. මෙහි කැමරාකරණයෙන් චන්න දේශප්‍රිය , සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද ඩී මඩවල , සටන් අධ්‍යක්ෂණයෙන් වසන්ත කුමාරවිල , සංගීත අධ්‍යක්ෂණයෙන් චින්තක ජයකොඩි , සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර , නිෂ්පාදනයෙන් ආචාර්ය සමන් එදිරිසිංහ එක්වී ඇති 1970 ලව් ස්ටෝරි චිත්‍රපටයේ තිර රචනයද අධ්යක්ෂ අරුණ ජයවර්ධන විසින් ලියා ඇත. මෙය ස්ටාර් එන්ටර්ටේන්මන්ස් සහ ඉවන්ට් පුද්ගලික සමාගමේ ඉදිරිපත් කිරීමකි.
— සඳ පායන්න —
“සඳ පායන්න පායන්න සැරසී
අඳුරට ළංවුණා
කළුවර ලෝකේ පීඩා
සිසිලෙන් පහන් වුණා
හෙට පායන්න පායන්න ඔබගෙන්
අරුණලු හිරු අරන්
මං ඉන්නවා ඉන්නවා
ආයෙමත් රෑ අරන් – ආයෙමත් රෑ අරන්
හැම රාත්‍රී තරුවක්ම පායාපු ආකාසේ
මට අහිමි සඳ දිලුණා දෝ
ඒ සඳට ඉහලින්ම ආකාසෙ ගෑවෙන්න
මැව් සිහින තව නින්දේ දෝ
සඳ පායන්න පායන්න සැරසී…
යුග නේත්‍ර හැමදාම මට දීපු කඳුළැල්ල සේ
මගෙ අඳුර ළඟ ඉන්නේ දෝ
ඒ අඳුර බිඳලන්න යළි එන්න අහසින්ම
මා පොළොවෙ මිය යන්නේ දෝ
සඳ පායන්න පායන්න සැරසී…”
ගායනය: සුරේන්ද්‍ර පෙරේරා
පද රචනය: දුමින්ද අලහේන්ද්‍ර
සංගීතය: මංගල ගලප්පත්ති
— හී සර විඳින්න —
“හී සර විඳින්න හදවත පිරෙන්න මල්සරා
පෙම් රස දැනෙන්න සවනට කියන්න කොඳුරලා
ආදර උල්පතින් පෙම් රස අම දහරා
ගලාවි රස දහරා
මේ පෙම් ජීවිතේ මනහර මනහාරා
නෙතු පියන් පවන් සැලී ආදර ගී කොඳුරා
හදවත මත් වුනා ඒ පෙම් රස හඳුනා
කල්පනා ලොවක් මැවූ මේ ආදරේ
හිනැහෙන්න සතුටින් පිරි සුපෙම් ජීවිතේ
දිගු සුසුම් මුවින් ලෙහී මා වතෙහි වෙලුනා
රතදර ලං වුනා මා නෙත් පිය පියවා
සිත් සදා සුවෙන් වෙලූ මේ ආදරේ
හිනැහෙන්න සතුටින් පිරි සුපෙම් ජීවිතෙ”
ගායනය: සමිතා එරන්දතී මුදුන්කොටුව සහ ඉන්දික රුවන් (රූනි)
පද රචනය: ශෙහාන් ගලහිටියාව
සංගීතය: තිළිණ රුහුණගෙ
— තෙමෙන කහවණු —
“තෙමෙන කහවණු මහා වරුසාවේ
ජීවිතය හැර හැමදේම හමුවේ
වහින මහ වැසි කඳුළු ගංගාවෙ
ජීවිතය ලග ජීවිතය හමුවේ
සිහිල් මීදුම් වලා තිර අතරේ
මතක සැමරුම් ගිනිකඳු ද හමුවේ
අරන් ආ ලෙස පිටපතකි දිවියේ
රඟ මඬල මත කඳුළු මල් සුපිපේ
අනාරාධිත ඇරඹුමක පැමිණී
පිළිසරණ නැති මිරිඟුවක පැටලී
සඳ කියා තරු එළි වලට රැවටී
මං මුලාවී මං.. මං සොයා ඇවිදී”
ගායනය: සූර්යා දයාරුවන්
පද රචනය: පූජ්‍ය කුට්ටිකුලමේ පේමාලංකාර හිමි
සංගීතය: චින්තක ජයකොඩි
නිෂ්පාදනය – ආචාර්ය සමන් එදිරිසිංහ
අධ්යක්ෂය – අරුණ ජයවර්ධන
-ඇන්ටන් ජේ. ප්‍රනාන්දු –