72 වන ලෝක රූ රැජින තරඟාවලියේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකරට, පසුගිය මැයි 31 වනදා ඉන්දියාවේ හයිද්‍රාබාද් හි HITEX සම්මේලන මධ්‍යස්ථානයේ පැවති අවසන් මහා තරඟයේදී අර්ධ අවසන් තරඟකරුවන් 40 අතරට පැමිණීමට නොහැකි වූවත් ඇය මතෘ භූමිය වෙනුවෙන් උපරිම දක්ෂතාවය පෙන්නුම් කලාය.
එය මෑත ඉතිහාසයේ ශ්‍රී ලාංකික නියෝජිතයෙකු විසින් ඉදිරිපත් කරන ලද වඩාත්ම බලගතු නියෝජනයක් ලෙස හැඳින්විය හැකිය.

අවසන් තරඟය දක්වාම ඇයගේ ඉදිරිපත් කිරීම් ජාත්‍යන්තර අවධානය දිනා ගත්හ. විශේෂයෙන්ම ඇය ගෝලීය බහුමාධ්‍ය අභියෝගයේදී පළමු අනුශූරතාවය දිනා ගත්තේ, ශ්‍රී ලාංකාවට මෙතෙක් නොලැබූ වාර්තාවක් එක් කරමිනි.
ඊට අමතරව, දක්ශතා ප්‍රදර්ශනය, ඇයගේ ප්‍රශංසනීය රංගනයන්, ඇය භාවිතා කල විලාසිතා මෙන්ම ධම්මපදයේ උපුටා ගැනීමක් සමඟ සිදුකල ඇයගේ හරවත් කතාව ඇගේ කැපවීම සහ කුසලතා මොනවට ඔප් නැංවූ අතර ඇය ආඩම්බරයෙන් නියෝජනය කළ ජාතියේ වටිනාකම් සහ සංස්කෘතික පොහොසත්කම ද ඉස්මතු විය.
තරඟකාරී අංගවලින් ඔබ්බට ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය සහ තරුණ බලගැන්වීම වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරිනියක් ලෙස ඇයගේ අඛණ්ඩ කාර්යය මෙහිදී අගයකොට දැක්විය යුතුය.
2025 ලෝක රූ රැජින තරඟයේ දී, ශ්‍රී ලංකාවට මෙතෙක් නොලැබූ කීර්තියක් ගෙන ඒමට ඉවහල් වූ අනුදි ගුණසේකරගේ සුවිශේෂී හැකියාවන් සහ කැපවීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් මෙහිදී ඉහළින්ම ප්‍රශංසාවට ලක් කළ යුතු කරුණකි.
✍🏻හසාරා අමරසිංහ