සියල්ල ප්‍රේමණීයව ජීවිතයට හිමි කර දෙන්නටත්, ප්‍රේමණීයවම ඒ සියල්ල උදුරා ගන්නටත් ජීවිතය අපෙන් සොරා ගන්නා එකම එක තත්පරයකට හැකි වනු ඇත.
තමාට තමාවත් අහිමි විය හැකි ඒ මායාකාරී තත්පරය හඳුනා ගත හැකි නම් මෙලොව එකදු විරහ කඳුලක් නූපදිනු ඇත. එකදු භදවතක් හඬා නොවැටෙනු ඇත. තමාට තමාව අහිමි නොකරන ප්‍රේමයක් යනු සැබවින්ම ජීවිතේ සියල්ලමය.
අප වටා වටවුණු සමාජය, ලෝකය විසින් සාදා දෙන පාට කන්නාඩිවලින් මිනිසුන්ව දකින තාක් එවන් ප්‍රේමයක් සදහටම මගහැරෙන මොහොතවල් බොහෝමය.
‘අපි හැමෝම ජීවිතේ එක තැනක් හරි වැරදුණු, එක තැනක හරි පැරදුණු මිනිස්සු.. ඒත් අපි හැමෝම, බිංදුවටම වැටුනත් ආයෙමත් දිනන්න හයිය තියෙන මිනිස්සු’
එහෙම කියන්නෙ “මං හොයන්නේ ප්‍රේමයක්” චිත්‍රපටයේ තිර කතාව. ඒත් ඒ කතා කරන යාරා සහ මේධාන් එම චරිතවලට ආත්මීයව පණ පොවන අභිලාශි සන්තුෂ්කි හෝ දර්ශන් තවරාජා ම නොව, ඔබේ ආත්මයේ සිර කරගත් ඔබම බව නුදුරේදීම ඔබ හඳුනා ගනීවි.
ඒ…. මං හොයන්නේ ප්‍රේමයක් චිත්‍රපටය ඔබේ දෑස් ඉදිරියේ දිගහැරෙන විට. ලාංකේය වාණිජ චිත්‍රපට කලාව එවන් වටිනා පණිවිඩයකින් මෙසේ ආමන්ත්‍රණය කරන්නේ සිනමාවට පය තබන අලුත් පිරිසක් කිව්වොත් වැරදි නැහැ.

අධ්‍යක්ෂ තිලිණ බොරලැස්ස පුංචි තිරයේ ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසක නිර්මාණකරුවෙක් වුවත් මේ ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය. USY අජිත් සිය ප්‍රථම සිනමා නිෂ්පාදනට පිවිසෙන්නේ ද මේ සමග වන අතර, කතාව, දෙබස් සහ තිර රචනය අනෝමා විජයවර්ධන ගෙනි.
කැමරා අධ්‍යක්ෂණයෙන් ස්ට්‍රීනර් ඇඩම්ස්, සංගීත අධ්‍යක්ෂණයෙන් තිලිණ තාරක, ගීත රචනයෙන් ශෙහාන් ගලහිටියාව, සංස්කරණයෙන් ඩිනෙල්ක මුතු ආරච්චි වැනි තවත් නිර්මාණශීලී පිරිසක් මං හොයන්නේ ප්‍රේමයක් හැඩ වැඩ කරයි.
දර්ශන් සහ අභිලාශි සමග නිල්මිණි තෙන්නකෝන්, පූජනී භාග්‍යා, අජිත් වීරසිංහ, අනුරාධ මල්ල්වාරච්චි, ජයනි වීරසිංහ, පසිඳු විතානගේ වැනි තවත් ජ්‍යේෂ්ඨ සහ ජනප්‍රිය තරු රැසක් රංගනයෙන් දායක වෙයි.
ලාංකේය වාණිජ සිනමාවට කලකට පසු තවත් අත්දැකීමක් එකතු කරන්නට මං හොයන්නේ ප්‍රේමයක් සූදානම් ව සිටී. එනම්, සිංහල මෙන්ම දමිල බසින් ද ඉදිරියේදී මෙම සිනමා පටය රසවිඳීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා කර දෙන බව පවසයි.
