Saturday, June 14, 2025
spot_img
More

    Latest Posts

    හේමාල් – දුෂේනි ආදර කතාවක පැටලෙයි…

    අගෝස්තු 23 “සිහින නෙළුම් මල්” පිපෙයි !

    නූතන ජන සමාජයේ වෙසෙන නව යොවුන් යෞවන යෞවනියන්ගේ සිතුම් පැතුම් ආකල්පයන් හරිම වෙනස් හා ඉක්මන්කාරි වගේම විටෙක දැඩි ආවේගශීලියි.
    නොමේරු බුද්ධියක නිවැරදි තීරණ ජනිත වෙන්නේ කලාතුරකින්.

    සහන් සහ නයෝමි කියන්නෙත් කාලයක් පුරා ආදරය කරලා එකිනෙකා පිළිබඳව හොඳ අවබෝධයක් සහිතව හිතුවක්කාරෙට සිය කැමැත්තෙන් විවාහ වෙලා කුලී නිවසක ජීවිතය විනෝදයෙන් සැහැල්ලුවෙන් ගත කරන පෙම්වතුන් යුවලක්.

    යුග දිවියට වසර ගණනාවක් ගත වුනත්, ඔවුනට දරු සුරතල් බැලීමේ වාසනාවනම් හිමිවුනේ නෑ.

    ඒ අඩුව ඔවුනට නොදැනුනා නොවුනත්, එහෙම වෙන්න හේතු කාරණා නොතිබුනාමත් නොවේ.
    එක්තරා දවසක, දීර්ඝ කාලයකට පසුව මේ දෙදෙනා බැහැ දැකීමට, සහන් ගේ නැන්දා කෙනෙක් ඔවුන්ගේ නිවසට පැමිණෙනවා.

    ඒ නැන්දා දරුවෙකු පිළිබඳව අසනා කරුණු කාරනා නිසා, කලබල නොවන නයෝමි ලබා දෙන පිළිතුරක් හේතුවෙන්, ඔවුන් දෙදෙනාට ලොකු අභියෝගයකට මුහුණ දීමට සිදුවෙනවා.

    ඒ අභියෝගයට ඔවුන් මුහුණ දෙන ආකාරය තමයි, සිහින නෙළුම් මල් තුලින් ප්‍රේක්ෂකයා වෙත ගෙන එනු ලබන්නේ.

    2016 වසරේ එළිදැක්වූ, මෝටර් බයිසිකල් තම ප්‍රථම චිත්‍රපටය සඳහාම ජාතික හා ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ, ශමීර නාඔටුන්න සිය දෙවන නිර්මාණය ලෙසින්, සිහින නෙළුම් මල් තිරයට ගෙන එනු ලබන්නේ.

    මෙහි සහන් ලෙසින් ජනප්‍රිය නළු හේමාල් රණසිංහ සහ නයෝමි ලෙසින් දුෂේනි සිල්වාත් ප්‍රධාන චරිතයන්ට පණ පොවන අතර, උමාලි තිලකරත්න, ශ්‍රියාණි අමරසේන, වීණා ජයකොඩි, කළන ගුණසේකර, දයාදේව එදිරිසිංහ, ප්‍රියන්ත සෙනෙවිරත්න, ලාල් කුලරත්න ඇතුළු පිරිසක් සෙසු රංගන දායකවත්වය ලබා දී ඇත.

    විශ්වජිත් කරුණාරත්න ගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද, රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන් ද, මිලින්ද තෙන්නකෝන් ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද, කලා අධ්‍යක්ෂණයෙන් ධම්මික හේවාදුවත්ත ද, අංග රචනයෙන් බුවනෙක රණවකද, සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද ඩී මඩවල ද එක්වී ඇති මෙහි ගීත ගායනයෙන්, ශශිකා නිසංසලා, මිහිඳු ආරියරත්න, අමිල පෙරේරා සමගින් ආශ්කා කුලතුංග දායකව ඇත.

    නිශ්චල ඡායාරූපකරණයෙන් අමාල් රෝස් එක්වී ඇති ” සිහින නෙළුම් මල් ” වරුණ අරඹගේ නිෂ්පාදනයකි.

    “සිහින නෙළුම් මල්” බලාපොරොත්තුව ඔබව ජීවත් කරවයි…

    අගෝස්තු මස 23 වෙනිදා සිට දිවයින පුරා සිනමාහල් රැසක පවුලේ සැමට තිරගත වේ.

    • ඇන්ටන් ජේ ප්‍රනාන්දු

    Latest Posts

    spot_imgspot_img

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.